අපේ රටේ බොහෝ දෙනා “තේරුම දන්නා බණට” වඩා, “තේරුම නොදන්නා පිරිත” ට වැඩි කැමැත්තක් දක්වන බවද පෙනේ. පරිත්‍රාණ දේශනාවක ඇති ගීතවත් බව, මිහිර, ගයන රිද්මය හා රටාව, හා ඔදවත් තෙදවත් බව නිසා, පිරිත් දෙසුමකට සවන් දීම මනසට විශාල සහනයක් හා සන්තුෂ්ටියක් ගෙනදීම එයට හේතුභූත වන්නට ඇත.

ගිරිමානන්ද සූත්‍රය පිළිබද ලිපියකි

ගිරිමානන්ද පිරිත සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ දෙවන පණ්ණාසකයේ සචිත්ත වග්ගයේ 10 වන සූත්‍රයයි. ඉන් උපුටාගත් මෙම සූත්‍රය චතුභාණ්වාර පාලි ( මහා පිරුවාණා පොත් වහන්සේ ගේ හෙවත්) මහ පිරිත් පොතෙහි ඇතුළත් කර ඇත. රෝග සංසිඳවීම සඳහා දේශනා කරන ලද බොජ්ක්‍ධංග ධර්මත් සමග මෙම සූත්‍රයද රෝග ශාන්ති කර්මයක් ලෙස ගිනිය හැක.


බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසනා කාලයෙහි ගිරිමානන්ද හාමුදුරුවන් වහන්සේ රෝගී වූහ. ආනන්ද හාමුදුරුවෝ ඒ බව බුදුරජාණන් වහන්සේට දන්වා රජගහ නුවර ගිජුකුළු පව්වට වැඩම වන්නේ නම් යහපතැයි ආරාධනා කළහ. එහිදී බුදුහු ආනන්ද දස සංඥා ඇසීමෙන් ගිරිමානන්ද භික්ෂුවට ඒ වැළදී ඇති රෝගාබාධ ඒ මොහොතේම සුව වෙයි.

ඔබ ගොස් දස සංඥා කියන්නැයි බුදුහු ආනන්ද හාමුදුරුවන්ට දස සංඥා වදාළ සේක. උත්පත්ති ජරා වෙනස්වීම් ඇති නිසා පංචස්කන්ධය අනිත්‍යය. ඇස කණ ආදී අභ්‍යන්තර ආයතන නිතර පීඩාවන්ට ගොදුරුවන බැවින් දුක්ඛය රූපාදී බාහිර ආයතන සයද වසඟයෙහි පවත්වා ගත නොහැකි ස්වරූප ඇති නිසා අනාත්මය. මේ ශරීරය පතුල සමින් උඩ හිස කෙසින් යට සමින් වැසුණු පරිමාවේ ඇතුළත් කෙස් ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුලු, වකුගඩු, හෘදය, අක්මාව, දළබුව, බඩදිව, පපු අතුණු, අතුණු බහන්, අමු ආහාර, පැසුණු ආහාර, පින්, සෙම්, පුයා ලේ, ඩහදිය, මේදතෙල, කඳුළු, වුරුණු තෙල, කෙළ, මුකුණු, සදම්ඳුලු, මුත්‍ර යන කොටස් දෙතිස සලකමින් අසුභ සංඥා දැනගන්න.

ආනන්ද මෙසේ ශරීරයේ දුක් බොහෝය. බොහෝ ආදීනවය බොහෝ රෝගය, ඇස් ලෙඩ, කන් ලෙඩ, නාසික ලෙඩ, දිවේ ලෙඩ, ශරීරයේ ලෙඩ, හිසේ ලෙඩ, කන්තල ලෙඩ, කටේ ලෙඩ, දත් ලෙඩ, කාසය, ශ්වාසය, පීනස, දැවිල්ල, උණ උදර ලෙඩ, සිහිය නැතිවීම, අතීසාරය, ඉඳිමීම, මහ අතීසාරය, කුෂ්ටය, ගණ්ඩය, කබර, ක්ෂයය, අපස්මාරය, දදය, කැසිල්ලය, නියපහර වැදුන තැන ලෙඩය, මහා කුෂ්ටය, රත් පිතය, මධුමේහය, අංශභාගය, පිළිකාය, භගන්දරාය, පිත් සෙම් වාත තුන් දොස් සෘතු විපර්යාසයෙන්, විෂම පැවැතුමෙන්, අන්‍ය උපක්‍රමයෙන්, කර්ම දෝෂයෙන් සීත උෂ්ණ බඩගිනි පිපාසය, මලය මුත්‍රය යන මේ කරුණුවලින් හටගන්නා වූ ලෙඩය ආදී වසයෙන් මේ ශරීරයෙහි බොහෝ රෝග හටගන්නේය. ඒ බව සලකා ආදීනව සංඥාව දැන ගන්න. ආනන්ද කාමාදී විතර්ක නොඉවසීම අත හැරීම, දුරු කිරීම, නැති කිරීම අභාවයට යැවීම ආදී කරුණු ප්‍රහාණ සංඥාව බව දැන ගන්න. එසේම ආනන්ද සංස්කාරයන් සංසිඳවීම, දුරලීම, තෘෂ්ණාව නැති කිරිමාදිය විරාග සංඥා ලෙස දැන ගන්න. තවද ආනන්ද ඒ සංස්කාරයන් සංසිඳවීම කෙලෙස් දුරු කිරීම තෘෂ්ණාව නැතිකිරීම නිරෝධ සංඥා බව දැන ගන්න.

ආනන්ද මේ පංචස්කන්ධය පිළිබඳ දැඩිසේ නොඇලීමක් වේද කෙලෙස් දුරු කිරීමක් වේද එය සබ්බලෝක අනභිරත සංඥා ලෙස දැනගන්න. ආනන්ද, නාම රූප ධර්ම පිළිබඳ පීඩාවට පත්වේද? ලජ්ජාවේද? පිළිකුල්වේද? එය සබ්බ සංඛරේසු අනිච්ච සංඥා බව දැන ගන්න. ආනන්ද සිහියෙන් හුස්ම ගැනීම, හුස්ම හෙළීම, දිගට හුස්ම ගැනීම, දිගට හුස්ම හෙළීම් ආදී වසයෙන් සිහියෙන් යුතුව ආශ්වාස ප්‍රශ්වාස හැසිරවීම ආනාපාන සතිය ලෙස දැනගන්න.


එම නිසා ආනන්ද ගිරිමානන්ද භික්ෂුව වෙත ගොස් මෙකී දස සංඥාව කියා දෙන්න. ආයුෂ්මත් ගිරිමානන්ද භික්ෂුන් වහන්සේ එය අසා සුවය ලත් සේක. පහවු රෝග ඇති වූ සේක. රෝගී බවින් මිදුන සේක, සංසිඳුන රෝග ඇතිවූ සේක. මේ ගිරිමානන්ද සූත්‍රයේ සංක්ෂේප අදහසයි.

ගිරිමානන්ද හාමුදුරුවන් ගිජ්ඣකුට පර්වතයේ අසනීප සිටින හෙයින් උන්වහනසේ කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කරන ලෙස ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට සැලකර සිටියහ. උන්වහන්සේ ආනන්ද හාදුරුවන්ට දස සංඛාවක් උගන්වා එය ගිරිමානන්ද හාමුදුරුවන්ට කියන ලෙස නියම කිරීමෙන් පැහැදිලි වන්නේ දස සංඥා එසේ ඇසීම ගිරිමානන්ද හාමුදුරුවන්ට ප්‍රමාණවත් බවය. මේ අවස්ථාව වනවිටත් ගිරිමානන්ද හාමුදුරුවන් රහත් බව ලබා සිටින්නට ඇත. දස සංඥා සිහි කරවීම ප්‍රමාණවත් වූයේ ඒ නිසාය. ආනන්ද හාමුදුරුවන් රහත්ව නොසිටි නිසා දස සංඥා විස්තරව දේශනා කරන්නට සිදු විය.

රෝගියකුට ප්‍රතිකාර කළ යුත්තේ සප්පාය, අසප්පාය හොඳින් දැන ගෙනය. බුදු හාමුදුරුවන් චුන්ද හාමුදුරුවන් ලවා බොජ්ඣංග කියවා ගැනීමෙන් සුවය ලැබීමත් හා ගිරිමානන්ද හාමුදුරුවන් ආනන්ද හාමුදුරුවන් වෙතින් දස සංඥා ඇසීමෙන් සුවය ලැබීමත් අතර සමානකමක් ඇත. ගිරිමානන්ද මහ රහතන් වහන්සේ අසනීප වූයේත් මුගලන් මහරහතන් වහන්සේ අසනීප වූ ගිජ්ඣකුටයේදීමය. අසනීප හේතුව අටුවාව සඳහන් නොකළේ එය කලින් සඳහන් හේතුවම වන නිසාය. පරිසර දුෂණය අසනීපයට හේතුවයි.

ගිජ්ඣකුට පාමුල විස ගසක මල් පිපී හමන සුළඟ විෂ සහිත වීමයි. කෙනෙකු රෝගී වීමට ජලය, වාතය , ශීතල, උෂ්ණ ආහාර ආදී කරුණු හේතුවන බව මේ සුත්‍රයේ දක්වා ඇත. ඒ කරන විස්තරය ශ්‍රාවක පි‍්‍රය එකකි. නිකම්ම රෝගය අසා බෙහෙත් ලියනවාට වඩා රෝග ලක්ෂණ ප්‍රතිකාර පැවසෙන ශ්ලෝකයක් කවියක් කියා ඒ බෙහෙත් විස්තර කරනවා ආසන්නට රෝගියාද කැමතිය. ඒ සාමාන්‍ය මිනිස් ගතිය පවා මේ සූත්‍රයේ ආදීනව සංඥාව විස්තර කරන ආකාරයෙන් පැහැදිලිය.

ඇස් ලෙඩ, කන් ලෙඩ ආදී වූ රෝග ලේඛනයට රෝග හතලිස් ගණනක් දක්වා ඇත. මේ ලේඛනය ශ්‍රවනය කරන අය තම දැනීමත් එක්කර සවන් යොමු කරති. ඒ රෝගී තත්ත්වයක් ඇති කාහට වුවත් ආනාපානසති භාවනාව පිළිබඳ සරල විස්තරයක් සූර්‍ත‍්‍රයෙහි ඇතුළත් වෙයි.

ගිරිමානන්ද සූත්‍රයේ දක්වා ඇති පරිදි වනයෙහි රුක් මුලක හෝ සුදුසු වෙනත් තැනෙක හෝ පලක් බැඳගෙන (බද්ධ පර්යංකයෙන්) කය සෘජුව තබා ගෙන සිහියෙන් යුක්තව මම ආශ්වාස කරමියි සිහියෙන් ආශ්වාස කරයි. මම ප්‍රශ්වාස කරමියි සිහියෙන් ප්‍රශ්වාස කරයි ආදී වසයෙන් එම ස්වභාව උගන්වා ඇත. ඉතා අසාධ්‍ය නොවූ රෝගී අයට කායික වේදනාව යටපත් කර ගැනීමට මේ අගනා ප්‍රතිකර්මයකි. මෙම පිරිතෙහි ( සූත්‍රයෙහි) එම භාවනාව මෙතරම් සරලව දක්වා ඇත්තේද ඒ නිසාය.

ගිරිමානන්ද සූත්‍රයේ නිදාන කථාව
සැවැත් නුවර අනේපිඩු සිටුවරයා විසින් කරවන ලද ජේතවනාරාම මහා විහාරයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිර දැඩිසේ රෝගී විය. ඉක්බිති ආනන්ද ස්ථවිරයන් වහන්සේ ගිරිමානන්ද භික්ෂුවගේ ගිලන් බව බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වැඳ ඒ බව මෙසේ බුදුරජාණන් වහන්සේ වෙත දන්වා සිටියහ.

“ස්වාමිනි බුදුරජාණන් වහන්ස ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන් වහන්සේ දැඩිසේ රෝගීව සිටිති. බුදුරජාණන් වහන්සේ එහි වැඩම කළහොත් මැනවි. එය අසා වදාළ බුදුරජාණන් වහන්සේ එසේ නම් ආනන්ද තොප එහිගොස් මේ දස සංඥාවන් ගිරිමානන්ද භික්ෂුවට කියව. එසේ තොප දස සඤ්ඤාවන් කී කල එය අසා ගිරිමානන්ද භික්ෂුව සුවපත් වන්නේ යයි වදාරා අනිත්‍ය සඤ්ඤාවන් දෙසූ සේක. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙම දස සඤ්ඤාවන් උගෙන ගිරිමානන්ද භික්ෂුව වෙත ගොස් කීහ. එම දස සඤ්ඤාවන් අසා ගිරිමානන්ද භික්ෂු තෙම නිරෝග විය. සුවපත් විය.

ගිරිමානන්ද මහරහතන් වහන්සේ
අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ නාම ලේඛනයෙහි ඇතුළත් සුමේධ බුදුරජාණන් වහන්සේ 13 වැනි අංකයට ගැනෙති. එම සුමේධ බුදුරදුන් දවස මහා සිටුවරයෙකු ලෙස ජීවත් වූ අයෙකි. මෙම ගිරිමානන්ද භික්ෂුව එසේ සිටියදී තම මව-පියා- සොහොයුරා බිරිඳ පුත්‍රයා යන අය එක් දිනෙකම මිය ගියහ. මහත් දුකට පත් ඔහු ප්‍රකෘති සිහිය ලබා ගැනීමට අසමත් වූයේ වනගත විය. පිස්සකු මෙන් හැසිරෙන්නේ ඉතා අසරණ විය. මෙසේ සිටියදී සුමේධ බුදුරජ ඔහු සමීපයේ අසල ගසක් මුල වැඩ සිටියේය. ස්වල්ප වේලාවකින් අසරණ සිටුවරයා සාමාන්‍ය සිහිය ලැබීය. එය අවස්ථාව කරගත් සුමේධ බුදුරජාණන් වහන්සේ

අනවිහාතා තතෝ ආගුං
අනනුඤ්ඤාතො ඉතො අගා
යථාගතා තථාගතා
කානාතත්ථ පරිදේවනා

මේ ගාථාව වදාරා ධර්ම දේශනා කළහ. ඒ ඇසූ සිටුවරයා ශෝකය සංසිඳවා ගෙන බුදුරදුන්ට විශේෂ පුෂ්ප පූජාවක් කළේය. එයින් සසර අනන්ත සැප ලැබ අප බුදු රදුන් දවස බිම්බිසාර රජුගේ පුරෝහිත බමුණාගේ පුතෙක්ව ඉපිද සුදුසු වියට පත් කළ බුදු ගුණ අසා පැවිදි විය. ග්‍රාමවාසය හැර අරණ්‍යවාසව කල් ගෙවීය.
වරෙක බුදුරදුන් දක්නට වැඩි බව අසා බිමිබ්සාර රජතුමා පැමිණ වන සෙනසුන් කරා නොවඩිනා ලෙසට ගිරිමානන්ද හිමිට ආරාධනා කොට සිව් පසයෙන් ( චිවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය) උපස්ථාන කරන බවද දැන්විය. එය නොඉවසා (නොපිළිගෙන) වන සෙනසුනට වැඩියේය. කුටියක් එහි නොවීය. වැසි කල පැමිණියේය.

එහෙයින් ගිරිමානන්ද රහතන් වහන්සේට පීඩාවන නිසා දෙවියෝ වැසි නතර කළහ. රටට අවශ්‍ය වැසි නැතිව රටවැස්සෝ පෙළුනහ. රජතුමා කරුණු විමසා දැන වන සෙනසුනෙහි කුටියක් තනවා පූජා කළේය. ඉන්පසු රටට වැසි ලැබින සසර පුරුද්ද නිසා උන්වහනසේ වන සෙසුනට පි‍්‍රය කළහ.

දෙවියන්ට වැසි වැස්ස වීමටත් වැස්ස නතර කිරීමටත් මෙම සුත්‍රයෙන් ප්‍රකාශ වීම ඉතා වැදගත්ය. මෙම ගිරිමානන්ද සූත්‍රය පිරිතක් වශයෙන් උදේ සවස සජ්ඣායනා කිරීමෙන් රෝගාබාධයන් ගෙන් මිදිය හැක.

ගණේමුල්ල, දකුණු ගලහිටියාව දම්තිළිණ විහාරාධිපති, 
හල්පිටියේ 
කෝලිතවංස හිමි