පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ උතුම් සම්බුදු බව ලබා සියලු සත වෙත පතල වූ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් සූත්‍ර ධර්මයන්ගෙන් විශේෂයෙන් තෝරාගන්නා ලද සූත්‍ර එකතු “පිරුවානා පොත් වහන්සේ” යන නාමයෙන් සංග්‍රහ කොට ඇති “මහ පිරුවානා පොත් වහන්සේ” පිළිබඳව අද සිට ඉදිරියට අප සාකච්ඡා කරන්නෙමු.
පිරුවානා පොත
”පිරිත් පොත” නැතිනම් “පිරුවානා පොත” ලෙස බෞද්ධයන් අතර ව්‍යහාර වේ. පිරුවානා පොත යන්නෙහි එක් තේරුමක් නම් කටපාඩම් කළ යුතු යන අදහසයි. සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස වන භික්ෂු, භික්ෂුණී,උපාසක,උපාසිකා යන සිවු පිරිසම ඉමහත් ශ්‍රද්ධා ගෞරවයෙන් පරිශීලනය කරන්නේ මේ පිරුවානා පොත් වහන්සේය. අතීතයේ පංචකාම සම්පත් විඳිමින් ගිහි ජීවිත ගත කළ බොහෝ උපාසක උපාසිකාවන්ටද, පිරිත් පොත් වහන්සේ කටපාඩම්ව තිබුණි. අද එම තත්ත්වය බොහෝ වෙනස් වී ඇත. කරණීයමෙත්ත සූත්‍රය ආදී පිරිතක් හෝ පාඩම් නැතිනම් එය මහත් අවාසනාවකි.
පාලි භාෂාවෙන් “පරිත්ත” සිංහලෙන් “පිරිත” වචනයෙන් තේරුම වන්නේ සියලු ආකාරයෙන් ම හැම පැත්තෙන්ම ආරක්ෂාව සැලසීම යන්නයි. එය “පරිසමන්තතො තායකි රක්ඛතීති පරිත්තං (පරිසමන්තතෝතායති රක්ඛතීති පරිත්ත) යන පාලි වැකියෙන් සනාථ වේ. වරෙක අපගේ ධර්මස්වාමි වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිත ගැන මෙසේ වදාළ සේක. “ඉමං පරිත්තං උග්ගණ්හා ඒතං මේ පරිත්තං කම්මට්ඨානං භනිස්සති” මෙම පිරිත් ධර්මයෝ ඉගෙන ගන්න. කටපාඩම් කරන්න. මෙය ඔබට ආරක්ෂාවක්ද, කර්මස්ථානයක්ද වන්නේය (යනුවෙනි).
පිරිතේ රැකවරණය
කෙනෙකුට පිරිතෙන් ලැබෙන්නේ ආරක්ෂාව පමණක් ම නොවේ. ශාන්තිය,විමුක්තිය ආදියත් වේ. එමනිසා පිරිතෙන් දෙව් මිනිස් ලෝකයාට සිදුවන්නේම අතිමහත් යහපතක්මය. පිරිත්වල ඇත්තේ මේ ලෝක ධර්මයේ පවතින ඇති මධුර වූ පරම සත්‍යයයි. ඒ මධුර වූ පරම සත්‍යයේ ආශිර්වාදය දෙව් මිනිස් ලෝකයාට ලබා දෙන්නේ සියලු දෙවි මිනිසුන්ගේ එකම ශාස්තෘ වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේය. උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ යනු මධුර වූ ඒ සදාතන සත්‍ය ධර්මයේ උත්තරීතර නිර්මාණයකි. ලෝක සත්ත්වයාට වැළඳෙන විවිධ රෝග සඳහා විවිධ ඖෂධ ඇත්තේය. එහෙත් එම ඖෂධවලින් ලෝක සත්ත්වයාට අප්‍රමාණ වූ පීඩා දෙන මානසික රෝග, සංසාරය නමැති රෝගාදිය කිසිසේ්ම සුවකළ නොහැක්කේය. ඒ අතර රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුෂ්‍ය බිය අපාය බිය, සංසාර බිය ආදී මේ සියලු රෝගයන්ට හා භීතීන්ට පිරිත් ධර්මය විශ්මිත රැකවරණයක් සලසයි. “ධම්මෝෂධං සමංනත්ථි ඒතං පිවථ භික්ඛවේ” (ශ්‍රී සද්ධර්මයට වඩා උතුම් වූ කිසිම ඖෂධයක් මේ විශ්වයේ කොතැනක හෝ නැත.) එනිසා “මහණෙනි, සංසාර ගත සියලුම රෝගයන් නසාලන මේ ශ්‍රී සද්ධර්මය නමැති ඖෂධය පානය කරව්” කියා බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
සාමාන්‍යයෙන් පිරිතට ආරාධනා කිරීමේදී දේශකයන් වහන්සේට පිරිත් ශ්‍රාවක පිරිස ආරාධනා කරන්නේ “විපත්ති පටිභාහාය, සබ්බ සම්පත්ති සිද්ධියා, සබ්බ දුක්ඛ, සබ්බ භය, සබ්බ රෝග විනාසාය, පරිත්තං බ්‍රෑථ මංගලම් (කියාය) විපත්ති සියල්ල දුරුකොට, සියලු සම්පත් සිදුවීම් සියලු දුක්, සියලු භය, සියලු රෝග, නැසීම පිණිස බුදුරජාණන් වහන්සේ විසින් වදාළ පරිත්‍රාණ ධර්මය දේශනා කරන සේක්වා කියාය.
වර්තමාන සමාජයේ බොහෝ දෙනාට පිරිතෙන් ලැබෙන අරුත පිළිබඳව හරි වැටහීමක් නොමැති තරම්ය. පැරැණි බෞද්ධයා තමාට යම්කිසි බියක් වූ කල්හි ස්වභාවයෙන්ම ඉතාම ශ්‍රද්ධාවෙන් “ඉතිපිසෝ ”පාඨය (ගාථාව) හඬ නඟා සජ්ඣායනා කළෝය. එය පරම්පරාගතව විත් අද ඉතා අතළොස්සක් දෙනා එය දනී. තාක්ෂණික මෙවලම් හා විවිධ මාධ්‍ය දියුණු වීමත් සමඟම මනුෂ්‍යයාගේ උත්තරීතර සදාචාර ධර්ම වේගයෙන් පිරීහියාම නිසා ලෝක සත්ත්වයාට යහපත් සලසන ලොව්තුරු සුවසලසන සම්බුදු දහම මිනිසාගෙන් ඉතාම අවාසනාවන්ත ලෙස ඈත්වෙමින් පවතී. මෙහි භයානක ප්‍රතිඵල දැන් ලෝකයාට භුක්ති විඳීමට සිදුව ඇත.
අපගේ භාගවතුන් වහන්සේ මේ ලෝකයේ කිසිදු ශාස්තෘවරයෙක්, කිසිඳු ගුරුවරයෙක්, කිසිඳු නායකයෙක්, කිසිඳු මවක්, පියෙක් නොසිතූ අයුරින් නොපැතූ අයුරින් තම ශ්‍රාවකයෙන්ගේ ආරක්ෂාව ගැන නිතර නිතර (තම) අවධානය යොමුකළ සේක. උන්වහන්සේ ධජග්ග සූත්‍රයේදී මෙසේ වදාරණ සේක. “අහඤ්ච ඛෝ භික්ඛවේ ඒවං වදාමි” පින්වත් මහණෙනි, මම ඔබට මේ ආකාරයෙන් පවසමි “සචේ තුම්හාකං භික්ඛවේ අරඤ්ඤ ගතානං වා රුක්ඛමූලගතානං වා, සුඤ්ඤාගාරගතානංවා උප්පජ්ජෙය භයං වා ඡම්භිතත්තංවා, ලෝමහංසෝවා මමේව තස්මිං සමයේ අනුස්සරෙය්‍යාථ” පින්වත් මහණෙනි, ඔබ කැළයකට ගියවිට හෝ රුක් සෙවනකට ගිය හෝ පාළු (නිවසකට) තැනකට ගිය විට හෝ බියක් හෝ තැති ගැනීමක් හෝ ලොමු ඩැහැගැනීමක් හෝ ඇතිවන්නේ නම් ඒ වෙලාවට මා ගැන සිහි කළ යුත්තේය. ඉතිපි සෝ භගවා අරහං.. . . බුද්ධෝ භගවාති. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ “අරහං” වන සේක. . . . බුද්ධ වන සේක, භගවා වන සේක. මමංහිවෝ භික්ඛවේ අනුස්සරතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලෝම හංසෝ වා සෝ පහීයිස්සති” පින්වත් මහණෙනි, එවිට යම් බියවීමක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩැහැ ගැනීමක් හෝ ඇති වන්නේ නම් මා ගැන සිහිකරන ඔබ හට එය නැතිවෙලා යන්නේය. මා ගැන සිහි නො කරන්නේ නම් ධර්මය ගැන සිහි කළ යුත්තේය. යම් හෙයකින් ධර්මය සිහි නොකරන්නාහුු නම් ආර්ය සංඝරත්නය ගැන සිහි කළ යුත්තේය. එවිට එම බිය ,තැති ගැනීම, ලොමුඩැහැ ගැනීම ඒකාන්තයෙන්ම නැතිවී යන්නේය.
”තං කිස්ස හේතූ” එයට හේතුව කුමක්ද? තථාගතෝ භික්ඛවේ, අරහං සම්මා සම්බුද්ධෝ, වීතරාගෝ, වීතදෝසෝ, වීත මොහෝ අභීරු අච්ඡම්භි අනුත්‍රාසි අපලායීති. පින්වත් මහණෙනි තථාගත වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාගය දුරුකළ සේක. ද්වේශය දුරු කළ සේක. මෝහය දුරුකළ සේක. බිය නොවන සේක. තැති නොගන්නා සේක නො පසුබසින සේක. පළා නොයන සේක යනාදී වශයෙනි.
බියක් තැතිගැනීමක් ඇති වූ විට
උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට හැර අවංකව සත්‍යවාදීම මෙම ප්‍රකාශය මේ සකල විශ්වයේ කිසිවෙකුට හෝ කිව නො හැක්කේමය. මෙය පරම සත්‍යයකි. අපේ මුතුන් මිත්තෝ මේ පිරිත් ධර්මයන් තමන්ගේ ජීවිතය හා කොතරම් සම්බන්ධ කරගෙන තිබුණාද කිවහොත් ඇතැම් වයසක උදවිය අදටත් තම දරු මුණුබුරන්ට යම් බියක්, තැති ගැනීමක්, ඇඟ කිලිපොළා යෑමක්, නපුරු සිහින දැකීමක්, සැක සංකාවක්, නින්ද නොයෑමක් ඇතිවූ විට දරුවනේ, ඉතිපිසෝ ගාථාව කියාපල්ලා කියයි.
අතීතයට ගොස් පිරුවානා පොත් වහන්සේ පිළිබඳව තොරතුරු සොයා බලන විට පෙනී යන්නේ මේ මහා පිරුවානා පොත් වහන්සේ විවිධ කාල වකවානුවල යම් යම් සංශෝධනයන්ට භාජනය වී ඇති බවයි. එහිදී පසුකාලීනව පිරිත් අතිරේකයේ එන නොයෙකුත් ආරක්ෂා පිරිත්,පොත් වහන්සේට එකතුකර ඇති බව පෙනේ. එම පිරිත් තුළ අන්තර්ගත සූත්‍ර දේශනා පිළිබඳව වෙන් වෙන් වශයෙන් අප ඉදිරි ලිපිවලින් සාකච්ඡා කරන්නෙමු. එහිදී පිරිත් ධර්මයන්හි පවතින විවිධ වූ විශ්මිත බලයන් ඔබට තේරුම් යනු ඇත.
පිරිතේ බලය අප හොඳින් හඳුනා ගෙන පිරිත් සජ්ඣායනා කරන සියලු දෙනාම ඉතා කරුණාවෙන්ම පිරිත් කිව යුතු බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට ඇත. එදා විශාලා මහනුවරට සිදුවූ භයානක විපතේදී ආනන්ද හිමියන් උතුම් කරුණාවෙන් මෛත්‍රියෙන් පිරිත් කියා නුවර පුරා පිරිත් පැන් ඉසුවේද, එවන් වූ ම කරුණාවකින් යුතුව අපද පිරිත් කිවයුතු වන්නේය.
බෞද්ධයාගේ සිරිත්
එසේම තම තමන්ගේ ජීවිතවල මංගල සම්මත සියලු කටයුතු වලද පිරිත් කියවා ගෙන ඒවා ආරම්භ කිරීම බෞද්ධයාගේ සිරිත වී ඇත. නිවෙස් ගොඩනැඟීම ආවාහ විවාහ රැකී රක්ෂා වෙත යෑම නිවෙස්වලට ගෙවදීම මියගිය අය වෙනුවෙන් කරන පින්කම් මෙන්ම රටට පැමිණෙන සතුරු උවරුවලදී නොයෙක් ලෙඩදුක් වලදී ආදී වූ විවිධ අවස්ථාවල මේ උතුම් පිරිත් ධර්මයන් සජ්ඣායනා කරවා ගනිති. රටට බත සපයන හෙළ ගොවීහු තම ගොවිතැන් කටයුතු ආරම්භ කිරීමට පෙර කෙත් යායේ එක් තැනක කරවන මනරම් පිරිත් මණ්ඩපයේ පිරිත් කියා පිරිත් කරන ලද පිරිත් පැන් මුළු කෙත් යායටම ඉස තෙරුවන් ආශිර්වාදය ගෙන ආරම්භ කරයි.
පිරිත් කීමේදී තෙරුවන් සරණ ගිය ලෝකපාලන දෙවියන්ගේ විශේෂ අවධානයද යොමුවන බැවින් පිරිත් කියන පිරිස් ඉතා සිල්වත්ව විශේෂ වතාවත් සිදුකොට පිරිත්කීම පිරිතෙන් ලැබෙන ආනිසංස බලවත් කරයි. මෙලොව යහපත හා දියුණු සලසන පරලොව සුගති සැප සලසන උතුම් නිවන් සුව සලසන චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත උතුම් ශ්‍රී සද්ධර්මය අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවට සෙත සලසන උතුම් ශ්‍රී සද්ධර්මය නිසාය. ඒ උතුම් සද්ධර්මයට අවමන් නො කොට දෙව් මිනිස් ලෝකයා ගැන මෛත්‍රීයෙන් හා කරුණාවෙන් යුතුව උතුම් පිරිත් ධර්මය සජ්ඣායනා කළ යුතු වේ.
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ පවතින සම්බුදු බලය, ධර්ම බලය, ශාන්තිය, ආරක්ෂාව, පිළිසරණ ආදී උත්තම ගුණයන්ගේ බලයෙන් ඔබට සෙත්වේවා.
සිත සනසන පිරිත් දෙසුම
ඉන්දු ආර්ය ශිෂ්ටාචාරයේ ආදි යුගයේ සිට දෙවි දේවතාවන්ගෙන් ආශිර්වාදය ලබාගනු වස් මනසින් මවාගත් දෙවියන් ඉදිරිපිට භක්තියෙන් යුතුව ගීතිකා ගයනු ලැබූහ. සතුරු උවදුරු වලින් ආරක්ෂාව, සතුරන් ජය ගැනීම, නිරෝගි බව, සම්පත් වර්ධනය, දරුපල ලැබීම, අව්වැසි ලබා ගැනීම සඳහා ගීතිකා ගයා ඇත. පිරිත ද ආරක්ෂාව අරබයා ගයන්නා වූ සුමිහිරි දේශනාවකි. පිරිත යන සිංහල වචනය පාලි ‘පරිත්ත’ ශබ්දයෙන් ප්‍රභවය වී ඇත. පාලි පරිත්ත ශබ්දය සංස්කෘත ‘පරිත්‍ර’ ශබ්දයේ විකාශනයකි. සර්ව ප්‍රකාරයෙන්ම ආරක්ෂාව සලසාදීම යන්න මෙහි අර්ථයයි.
දිනපතා පිරිත් කීමෙන් ලැබෙන සතුට හා වින්දනය, ඒ දිනය පුරා ඔබ ප්‍රබෝධවත්ව සිටීමට හේතු කාරක වන බව මම අත්දැකීමෙන් දනිමි. වසර ගණනාවක් මුළුල්ලේම දිනපතා උදෑසන මිනිත්තු 45 ක් පමණ තුන් සූත්‍රය, ධම්මචක්ක සූත්‍රය, මහා මොග්ගල්ලානත්ථෙර බොජ්ක්‍ධංග පිරිත, ධජග්ග සූත්‍රය, අටවිසි පිරිත, මහා ජයමංගල ගාථා, ජය පිරිත, ජිනපඤ්ජරය, සීවලි පිරිත, අභිසම්භිදානේ පිරිත දිනපතා ශබ්දයෙන් සජ්ඣායනා කිරීමෙන් මාගේ් ගතට හා සිතට සිසිලක් ලැබෙන අතර මාගේ් කටහඬ ආරක්ෂා කර ගන්නට ද ඉන් ලැබෙන පිටුවහල ඉමහත්යැයි මම විශ්වාස කරමි.
ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවට බුදු දහමේ හරය ඇතුලත් වේ. එයට සූත්‍ර විනය අභිධර්ම වර්ගකොට ඇති ත්‍රිපිටකයේ සෑම වැදගත් කරුණක්ම අඩංගු වේ. බුදුන් වහන්සේගේ සියලුම දේශනා, වනයක සතුන්ගේ අඩි වලට සම කළහොත්, ඒ සියල්ල බහාලිය හැකි ඇත් අඩිය ලෙස ධම්මචක්කපවත්තන සූත්‍රය අපට හැඳීන්විය හැකිය. බරණැස ඉසිපතනයේ මිගදායේදී පස්වග මහණුන් අරභයා දම්සක් පැවතුම් සූත්‍රය දෙසා වදාරන ලද සේක.
බුදුදහම ආගමක් පමණක් නොවේ. වියතුන්ට, උගතුන්ට, නැණවතුන්ට තේරුම්ගත හැකි දර්ශනයකි. ඒ බැව් දම්සක් පැවතුම් සූත්‍රයෙන් සක්සුදක් සේ පැහැදිලි වේ. නූතන විද්‍යාවට ගැලපෙන දර්ශනයක් එහි දක්නට ලැබේ. ගැලවුම්කරුවෙකු දෙවියකු පිළිබඳ විශ්වාසයක් එහි නොමැත. තමාගේ් විමුක්තිය උදාකර ගැනීම තමා සතුවේ. එහි පෙරමග සලකුණු දැක්වෙන මැදුම් පිළිවෙත පිළිබඳ අපූරු විග්‍රහයක් දම්සක් පැවතුම් සූත්‍රයේ ඇතුළත් වේ.
කාමසුඛල්ලිකානු යෝගය, හා අත්තකිලමථානුයෝගය යන අන්ත දෙක අතරින් දක්නට ලැබෙන මධ්‍යම ප්‍රතිපදාව නිවනට මාර්ගය බව මෙකී ධම්මචක්කපවත්තන සූත්‍රය මගින් බුදුන් වහන්සේ වදාළ සේක.
සිදුහත් කුමරු සියලු ලෞකික සැප සම්පත් වින්දේය. අතට පයට දැසි දස්සන් යාන වාහන ඉතාමත් රසවත් ආහාර පාන ඒ ඒ සෘතුවලට සරිලන ලෙස තනන ලද රම්‍ය, සුරම්‍ය, සුබ නම් වූ දෙව්විමන් වැනි මාලිගාවල ඉහළම සැප සම්පත් වින්දේය. දිව්‍යාංගනාවක් මෙන් ශෝභමාන කුමාරිකාවක් වූ යසෝදරාවන් විවාහ කර ගත්තේ ය. මෙම කාල සමය තුළදී කාම සුඛල්ලිකානු සුවය වින්දේය. විමුක්තිය නිවන් මග පසක්කර ගන්නට එය බාධාවක් බව සිදුහත් කුමරුට වැටහිණි. තම රහල් කුමරු උපත ලද දිනයේ ම සිදුහත් කුමරු ගිහිගෙය අතහැර ගියේය. චක්‍රවර්තී රජකම පවා ලබන්නට තරම් කුසලතාවයක් භාග්‍යයක් වාසනාවක් තිබුණු සිදුහත් කුමරු තම දිවියේ ඉහළම පරිත්‍යාගය සිදු කළේය.
ඉන්පසු සිදුහත් කුමරු වනවාසි දිවියක් ගත කරමින්, තම සිරුරට අනන්ත දුක් දීමෙන් විමුක්තිය ලබා ගන්නට උත්සාහ කළේය. එය ද නිශ්ඵල උත්සාහයක් බව සිදුහත් කුමරුට වැටහුනේ වසර හයක් තම සිරුරට දුක් දීමෙන් පසුවය.
නැණ ඇස උදාකර ගැන්මෙන් නිවනින් සැනසුම ලබාගත හැක්කේ මැදුම් පිළිවෙතින් බව සිදුහත් තවුසා තේරුම් ගත්තේය. සිත දියුණු කරගනිමින් නිවන් මග පිවිසීමේ මාර්ගය ධම්මචක්කපවත්තන සූත්‍රය මගින් ලෝකයාට අවබෝධ කර දුන් සේක. ආර්ය අෂ්ඨාංගික මාර්ගය - සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි නිවන් සුවය ලැබීමට වැදගත් වන්නා වූ සාධකයන් බව පෙන්වා දුන්නේය.
ලොව කිසිම ශාස්තෘවරයාණන් වහන්සේ නමක් මෙවන් බුද්ධිමත් දර්ශනයක් ඉදිරිපත් කොට නොමැත. මෙහිලා බුදුදහම ප්‍රඥාවන්තයින්, නැණවතුන් සඳහා වූ සුවිශේෂි දහමක් බව කදිමට ඔප්පුවන්නේ ද අරිඅටගි මගෙහි පළමු වැන්න ‘නිවැරදි දැක්ම’ ක් නිසාය. කිසියම් තැනැත්තෙකු ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින්, දර්ශනවාදීන් පවා බුදුදහමේ අගය වටහා ගත්තේ දම්සක් පැවතුම් සූත්‍රයේ එන කරුණු කාරණා ප්‍රගුණ කර ගැනීමෙන්ය. අද බටහිර රටවල් පවා බුදුදහමේ අගය තේරුම් ගෙන ඇත. එයට හේතුව බෞද්ධ දර්ශනයේ අන්ධ විශ්වාසයක් නොමැතිකමයි.
මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස නුවරෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන් ඇමතූ සේක යන ගාථාවෙන් ආරම්භ වේ. ධම්මචක්ක සුත්‍රයට ගාථා 18 ක් ඇතුළත් වේ. එහි අවසන් ගාථාව මෙහි පහත දක්වයි.
අථඛෝ භගවා උදානං උදානෙසි අඤ්ඤාසි වත භෝ කොන්ඩඤ්ඤෝ අඤ්ඤාසි වත හෝ කොණ්ඩඤ්ඤෝති. ඉති හිදං අයස්ඛතෝ කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤාකොණ්ඩඤ්ඤෝ ත්වේව නාමං අහෝසිති)
කොඤ්ඩඤ්ඤ තෙමේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළේය. පී‍්‍රති වාක්‍යයක් ද පැවැත් වූ සේක. මෙසේ මේ කාරණයේදී කොණ්ඩඤ්ඤ ආයුෂ්මතුන් වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤය යන නාමය ලැබුණි.
දම්සක් පැවතුම් සූත්‍රයේ වටිනාකම හා අගය දෙගුණ තෙගුණ වන්නේ එහි සිංහල අරුත් පිළිබඳ අවබෝධයක් ලබාගෙන එය සජ්ඣායනා කිරීමෙන්ය.
අපගේ ජීවිත ආලෝක කර ගැනීමට අවැසි කරුණු කාරණා දම්සක් පැවතුම් සූත්‍රයේ ඇතුළත් වේ. දුක්ඛ ආර්ය සත්‍යය ඉස්මතු කරන අතරම ඉපදීම, ජරාව, ව්‍යාධිය, රෝගිවීම, මරණය අපි‍්‍රයයන් හා එක්වීම පි‍්‍රයයන්ගෙන් වෙන්වීම කැමති යමක් නොලැබීම, කොටින්ම කියතොත් උපාදානස්කන්ධයෝම දුකයයි උන්වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රයෙන් දේශනා කළ සේක. අප භාග්‍යවත් තථාගතයන් වහන්සේ දුක් ආර්ය සත්‍යය අවබෝධ කරගත් බවත්, නොඇසු විරු ධර්මයන්හි සත්‍ය ඥානය පහළ කරගත් බවත්, ප්‍රඥාව පහළ කරගත් බවත් අවිද්‍යාව අන්ධකාරය දුරුකරගත් බවත්, ඥානාලෝකය අවබෝධකරගත් බවත්, විද්‍යාව ආලෝකය පහළ කරගත් බවත් මෙකී ධම්මචක්කපවත්තන සූත්‍රය මගින් දේශනා කොට වදාළ සේක.
නැණ ඇස පහළවීම, විද්‍යාව පහළ වීම, ධම්මචක්කපවත්තන සූත්‍රයේ ගාථා රැසකදීම පුන පුනා සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ බුද්ධාගම නැණවතුන් උදෙසා විශේෂිත ආගමක් දර්ශනයක් බවයි.
ධම්මචක්කපවත්තන සුත්‍රයෙහි අටවන ගාථාව කෙරෙහි අපි අවධානය යොමු කරමු. අප තථාගත බුදුපියාණන් වහන්සේ තම ධර්මය ඉතා අපූරුවට විග්‍රහ කරමින් මුළු ලොවට නැණ ඇස පහදාදීමට අවශ්‍ය දර්ශනය මෙසේ කෙටියෙන් වදාළ සේක. එකි අදහස් පුන පුනා ප්‍රකාශ කළසේක.
මහණෙනි, මේ දුක්ඛ ආර්යය සත්‍යය වේ. පෙර නොඇසූ විරූ ධර්මයන්හි සත්‍ය ඥානය චක්‍ෂුස පහල විය. එහි දැනීම ඇති විය. ප්‍රඥාව පහළ විය. විද්‍යා හෙවත් කෙලෙසුන් දුරු කිරීමෙහි නුවණ පහල විය. අවිධ්‍යාන්ධකාරය දුරු කරන ඤාණාලෝකය පහල විය. ඒ මේ දුක්ඛ ආර්යය සත්‍යය. පිරිසිඳ දත යුතුය. මහණෙනි මට පෙර නොඇසූ පිරූ ධර්මයන්හි සත්‍ය ඤාණය පහල විය. විද්‍යාව පහල විය. ප්‍රඥාව නැමැති ආලෝකය පහල විය.
මෙම ගාථාව අප බුදු දහමේ හරය, දර්ශනය ඉතා කෙටියෙන් අපට පසක් කර දේ. ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයකු වූ ඇල්බර්ට් අයිස්ටයින් පවා බුදුදහම නුවණැත්තන් සඳහා වූ ආගමක් බව පෙන්වා දෙයි.
එමෙන්ම දර්ශනවාදීන් වූ බර්ට්‍රම් රසල්, ශ්‍රී ජවහර්ලාල් නේරු, අබ්දුල් කලාම් වැනි වියතුන් බුදුදහම සිත දියුණු කරන ඉතාමත් වැදගත් සත්‍ය දර්ශනයක් බවත්, එය වත්මන් ලෝකයට ගැළපෙන බුද්ධිමතුන්ට විශේෂිත ආගමක් බවත් පවසා ඇත. සත්‍ය ගුණ සමුදායක්, භක්තියෙන් අධිෂ්ඨාන පූර්වකව සිහිපත් කරන ඉමහත් ආශිර්වාදාත්මක දෙසුමකි,පිරිත. එහි ඉතාමත් සුමිහිරි වදන් තුළින් සිතට ලැබෙන සිසිල අනන්තය. අප්‍රමාණය. ජය ශ්‍රී මහා බෝ සමිඳු අසල සිටින විට ඔබේ ගතට හා සිතට දැනෙන සුවය වචනයෙන් විස්තර කළ නොහැකිය. ඔබ පරිත්‍රාණ දේශනාවකට සවන්දෙන විටත් හඬනගා පිරිත් සූත්‍ර කියන විටත් ඔබේ මනසට කොතරම් සුවයක් ගෙන දේ.
පේ‍්‍රමසර ඈපාසිංහ
බුදුසරණ