අපේ රටේ බොහෝ දෙනා “තේරුම දන්නා බණට” වඩා, “තේරුම නොදන්නා පිරිත” ට වැඩි කැමැත්තක් දක්වන බවද පෙනේ. පරිත්‍රාණ දේශනාවක ඇති ගීතවත් බව, මිහිර, ගයන රිද්මය හා රටාව, හා ඔදවත් තෙදවත් බව නිසා, පිරිත් දෙසුමකට සවන් දීම මනසට විශාල සහනයක් හා සන්තුෂ්ටියක් ගෙනදීම එයට හේතුභූත වන්නට ඇත.

පිරිත් පැන් භාවිතය ගැන මතවාද සහ පිරිත් මණ්ඩපයක් නිවැරැදිව සකස් කරන්නේ කෙසේද?

බුදුන් වහන්සේ පවා යම් යම් සූත්‍ර, පිරිත්, දේශනා කර ගත් බවත්, දේශනා කළ බවත් සඳහන් වේ. එහෙත් වර්තමානයේ පිරිත් කීම යන්නෙන් සංවිධානාත්මකව පිරිත් කීම යන අරුතක් ගම්‍ය නොවේ. පිරිත් ගැන එලෙසින් සඳහන් වූවත් පිරිත් පැන් ගැන සූත්‍ර වල සඳහන් නොවේ.

පිරිත් පැන් යනු කුමක්ද?



පිරිත් පැන් යනු බෞද්ධ ආගමික වතාවතක් වන පිරිත් දේශනයකදී භාවිතා කරන ජලය සහිත භාජනයට ය. මෙම පදය පිරිත් පැන් ලෙස භාවිතා කරනුයේ ද පිරිත් මඟින් ලබාගන්නා සුවිශේෂ වටිනාකමක් සහිත ස්වභාවයක් මෙහි ඇති බැවිනි. පිරිත් යනු සතර බණවර හෙවත් පිරුවානා පොත් වහන්සේ ලෙස හඳුන් වන ග්‍රන්ථයෙහි සියලු සූත්‍ර ධර්මයන් ය. සතර බණවර වලට අන්තර්ගත නොවන හෙවත් අතිරේක වශයෙන් පිරිත් පොතේ අන්තර්ගත පිරිත් බොහොමයක් ද ඇත. ඒ සියල්ල පිරිත් වශයෙන් සලකා සජ්ඣායනා කිරීම ශ්‍රී ලාංකික බෞද්ධ සම්ප්‍රදායකි. එසේ සජ්ඣායනා කිරීම ලොව ඇති පවිත්‍ර සත් ක්‍රියාවක් ලෙස සලකා විවිධාකාරයෙන් සිදු කැරෙයි. වරු පිරිත, වත් පිරිත, දෙවරු පිරිත්, තිස් පෑ පිරිත, තුන් තිස් පෑ පිරිත, තිස් පෑ පහේ පිරිත, සති පිරිත ලෙස ඒවා නම් කැරේ. මෙම පිරිත් පින්කම් වල අත්‍යවශ්‍යම අංගයක් ලෙස පිරිත් පැන් හඳුනා ගත හැකි ය. පැන් යනු ජලයයි. එහෙත් බෞද්ධයන් පිරිත් යන සත් ක්‍රියාව සමඟ ජලය වතුර යන වචන භාවිතා නොකරයි. ඒ සඳහා බෞද්ධ සම්ප්‍රදාය තුළ භාවිතා වන පැන් යන ගෞරවය වචනය භාවිතා කරයි. පිරිත් දේශනයක් පවත්වන ස්ථානයේ නැවුම් ජල බඳුනක් තබා එයට නූලක් සම්බන්ධ කොට ඉදිරියේ තබාගෙන (වඩා ඈතින් නොවේ) වාක් ශබ්ද තරංග වඳිනා ලෙස පිරිත් කීම ඉපැරැණි සම්ප්‍රදාය විය. සමහරවිට පැන් බඳුන අතට ගෙන කලත්තමින් පිරිත් දෙසීම සිදුවූ බවද අප අසා ඇත.කෙසේ හෝ වේවා මේ උතුම් කෘත්‍ය සඳහා භාවිතා කරන ජලබඳුන පිරිත් පැන් කළය ලෙස ව්‍යවහාර වේ. වර්තමානයේ පිරිත් පැන් කළය පමණක් නොව පිරිත් පැන් බෝ තලය ලෙසද ව්‍යවහාර වේ. වෙළඳපොළේ ඇති පානීය ජල බෝතල් හා වෙනත් බෝතල් වලට ජලය පුරවා පිරිත් මණ්ඩප වල තබා, ඊට නූල් සම්බන්ධ කැරේ.

මේ අනුව පිරිත් පැන් බෝතල් පමණක් නොව පිරිත් තෙල් බෝතල් ද, පිරිත් මණ්ඩප වල දැකිය හැකිය. සාම්ප්‍රදායික පිරිත් පැන් කළයට තිබූ සම්භාවනීය ගෞරවය පිරිත් පැන් බෝතලයට නොලැබෙන බවද පෙනෙන්නට තිබෙන ලක්‍ෂණයකි. සාම්ප්‍රදායික බෞද්ධයෝ පිරිත් පැන් භාජනයට බහාලන ජලය සපයා දීම සම්බන්ධව ගෞරවනීය පිළිවෙතක් ක්‍රියාත්මක කළහ. මේ කාරණය සඳහා නැවුම් බඳුනක් සොයාගත් අතර නොඉඳුල් ජලය ලබා ගැනීමට අලුතෙන්ම කුඩා ළිඳක් කපා ගැනීමට ඔවුහු පුරුදුව සිටියහ.
මෙලෙස ගරුසරුව සපයාගත් ජලබඳුන සුදුපිරුවටකින් වසාගෙන වියන් අල්ලා ඇතැම් විට ශබ්ද පූජා සහිතව ද මණ්ඩපය කරා වැඩම කරගෙන එති. ඉන් පසු ගොක්කොල ආවරණයකින් සරසා මණ්ඩපයේ අසුන මත තබා ප්‍රධාන පිරිත් හුයට සම්බන්ධ කරනු ලබයි. සාම්ප්‍රදායික සමාජ රටාව තුළ දක්නට ලැබුණු මෙම ලක්‍ෂණ දැන් වියැකෙමින් පවතී.
වර්තමානයේ පැන් ගනු ලබන්නේ නළ ජලයෙන් නිසා පෙර පැවති ගෞරවණීය භාවය ලබාගැනීමට නොහැකි ය. පිරිසුදු බව පතා පෙරහන්කඩකින් පෙරා ජලය ලබා ගැනීම සිදු කරති. මෙය නූතන සමාජයට ගැලපෙන ලෙස බෞද්ධ ආගමික සංකල්පවල වෙනස්වීම පිළිඹිබු කරයි.

නූතන සමාජයට පිරිත් පැන්වල උපයෝගීතාව

බෞද්ධයා පිරිත් පැන් ලෞකික අරමුණු සඵල සාර්ථක කර ගැනීමේ අරමුණින් භාවිතා කරයි. නොයෙක් අරමුණු අවස්ථා මුල් කරගෙන මෙම භාවිතය සිදුවිය.
1. ජීවිතය සම්බන්ධ විවිධ අවස්ථා
2. සමාජ ජීවිතයේ වැදගත් අවස්ථා
3. ආගමික වැදගත්කමකින් යුතු අවස්ථා
4. පොදු හා පෞද්ගලික විශේෂ අවස්ථා

මිනිස් ජීවිතයක උපතේ සිට මරණය තෙක් සුවිශේෂී අවස්ථාවල පිරිත් පැන් භාවිතා කැරේ. දරුවෙකු බිහිවීමට පළමු, ප්‍රසූතිය බලාපොරොත්තු වන මවගේ ආරක්‍ෂාව සඳහා අංගුලිමාල පිරිත දේශනා කොට පිරිත් පැන් බීමට දෙයි. ඉතාම ආසන්න කාලයේ දී අංගුලිමාල පිරිත තැඹිලි ගෙඩියකට ජීවංකර බීමට දෙයි. සාම්ප්‍රදායික සමාජයේ දරු ප්‍රසූතිය යනු ජීවිතය හා මරණය අතර සටනකි. මේ නිසා ගැබිණියට චිත්ත ශක්තිය ලබා දීමත් පිරිතේ බලයෙන් ආරක්‍ෂාව ලබාදීමත්, මෙයින් බලාපොරොත්තු වූ බව සිතිය හැකි ය. වර්තමාන කාලයේ මව් පදවිය බලාපොරොත්තු වන අය අංගුලිමාල පිරිතෙන් ආරක්‍ෂාව බලාපොරොත්තු වෙති. ළදරු කාලයේ දී පිරිත් පැන් භාවිතා කරන අවස්ථාවක් ලෙස කොණ්ඩය කැපීම, කන් විදීම ආදී අවස්ථා සැලකෙයි. කොණ්ඩය කැපීමේ දී හක් ගෙඩියකින් හිසට පිරිත් පැන් වත් කිරීම සිදු කැරේ. කන්විදීමේදී ද කනට දමන අබරණවලට පිරිත් පැන් ඉසීම සිදු කැරේ.
රෝගාතුරවීම, විවාහය, මරණය යන සැම අවස්ථාවලම සෙත් පිරිත් දේශනා කරනු ලැබේ. මෙහිදී පිරිත් පැන් ස්වල්පයක් පානය කිරීම සහ හිසෙහි ගා ගැනීම මගින් ආශීර්වාදය සැලසෙන බව විශ්වාසයයි. මරණයට පත්ව ආදාහනය කළ ස්ථානයටද පිරිත් පැන් ඉසීම සිදු කරති. මෙමගින් මිනී අළු සූනියම් වැනි විනාශකාරි දේ වලට යොදා ගැනීම වළක්වා ගැනීම අපේක්‍ෂා කැරේ. පිිරිත් පැන් ඉසීමෙන් පසු එම අළු වලින් අනර්ථකාරි ක්‍රියා කිරීමේ ශක්තිය නැති වන බව, මිනිසුන්ගේ විශ්වාසයයි.

පිරිත් පැන් මෙබඳු බලපෑමක් කිරීමට හේතු

බුදුසමය තුළ බාහිර වස්තූන්ට බලය ආරෝපණය කොට එමගින් ආරක්‍ෂාවක් ලැබීම අපේක්ෂා කොට නැත. එහෙත් පසුකාලීනව මෙබදු ලක්‍ෂණ ඇති සංකේත බුදුසමය තුළ ද භාවිතයට පැමිණ ඇත. පිරිත්පැන් පිරිත් නූල මීට නිදසුන් ලෙස දැක්විය හැකිය. මේ වස්තූ®න්ට මෙබඳු බලයක් ආරෝපණය කිරීමට හේතුව ලෙස සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ ලෞකික අපේක්‍ෂාවන්ට කඩිනම් පිළිතුරු බුදුසමය තුළ නොමැති වීමයි. ලෞකික හා පෞද්ගලික අපේක්‍ෂා ඉටු කරගත හැකි ක්‍රමෝපාය ථෙරවාදී බුදුසමය තුළ ඇතත් ඒවා සාමාන්‍ය ජනයා අපේක්‍ෂා කරන තරම් කඩිනම් ප්‍රතිඵල අත්කරදෙනු නොලැබේ. තවද එම ක්‍රමෝපාය මගින් පුද්ගල පිළිවෙතේ පරිවර්තනයක් ඇති කැරගැනීම අනිවාර්ය වේ. මේ බඳු ක්‍රමවලට වඩා සාමාන්‍ය ජනයා පහසු ක්‍රම සොයති. මේ අනුව බුදුසමයේ ඇති බලය ශක්තිය ආශිර්වාදය භෞතික වස්තුන්ට (පිරිත් පැන් - පිරිත් නූල් ) ආරෝපණය කොට ප්‍රතිඵල ලබාගැනීමට පෙළඹී ඇත. මෙ බඳු ක්‍රම මගින් ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණ සාර්ථක කර ගැනීම , මුල් බුදු සමයට එකඟ ද යන්න ගැටලුවකි.

පිරිත් පැන් පිළිබඳ නූතන ප්‍රතිචාර

මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට ඇතුළුවන ආගමක් වෙතොත් එය එම ජනතාවගේ දෘෂ්ටිවලින් සහ මිත්‍යා විශ්වාස වලින් දූෂණය වීම, ස්වභාවයකි. ආගමක අනුගාමිකයන් එම ආගම දූෂණය කරන්නේ දැනගෙන හෝ ඉක්මනින් නොවේ. එය ටිකෙන් ටික සිදුවන්නකි. ඇති වෙන වෙනස දැන ගැනීමට හැකි වනුයේ එකිනෙකට ඉතා ආසන්න කාල පරිච්ඡේද දෙකක් ගෙන එම කාලයන්හිදී පැවති දෘෂ්ටි එකිනෙක සංසන්දනය කර බැලීමෙන්ය. පිරිත් දේශනය ද මේ විපර්යාසයන්ට භාජනය වී ඇත. මුල් යුගයේ පිරිත් දේශනාවෙන් බලාපොරොත්තු වූයේ එහි ඇති ශක්තිය පිරිත් පැන් වලට හෝ පිරිත් නුල්වලට ඇතුළත් කර, එම බාහිර වස්තූන් මගින් මිනිසුන්ට ආරක්‍ෂාව සැපයීම නොවේ.
වර්තමානයේ පිරිත් පැන් භාවිතා කරනුයේ ශුද්ධ වස්තුවක් ලෙසිනි. කිසිදු ආධ්‍යාත්මික පාරිශුද්ධත්වක් නොමැති පිරිස් පවා පිරිත් පැන්වල අනුහසින් තම බලපොරොත්තු අපේක්‍ෂා ඉටු කර ගැනීමට උත්සාහ කරයි. වර්තමානයේ දී එය කොතරම් ජයපි‍්‍රයත්වයට හා ව්‍යාප්තියට පත්වූයේ ද යත්. ලෙඩ දුක් දුරුවෙතැයි කියමින්, කිසිදු ප්‍රමිතියකින් තොරව පිරිත් පැන් බෙදා හරින සංවිධානගත වූ බොදු ව්‍යාපාරද ඇත. මේ බඳු ක්‍රියා නිසා ඒ පිළිබඳ විවේචන ද සමාජය වෙතින් එල්ලවෙයි.
මෙබඳු ශුද්ධ වස්තු බුද්ධ ධර්මය වැනි දේව නිර්මාණවාදය ප්‍රතික්ෂේප කරන ආගමික සංකල්ප සහිත දර්ශනවල තිබිය නොහැකි බව, එම විවේචකයන්ගේ මතයයි. “ භික්‍ෂූහු පිරිත් කියා, වතුර ජප කරති. කතෝලික ආගමේ නම් වතුර බෙන්සරුය (ඡඥදඵචපභඥ) කරලා ශුද්ධ වතුර බවට පත්කරනවා. මේ මිථ්‍යා ඇදහිල්ල මුල් යුගයේ බෞද්ධයෝ හාස්‍යයෙන් විවේචනය කළහ. වතුරට තිබෙනවා නම් , ආත්මිකව පවිත්‍ර කරන්න හැකියාවක් , වතුරේම ජීවත්වන මත්සයෝ කිඹුල්ලු ගෙම්බෝ, කෙළින්ම ස්වර්ගරාජ්‍යයට මනුෂ්‍යන්ට පෙර යයි කියලා, බුදුන් වහන්සේ දේශනා කළා “ (නලින් සුවරිස්)
මෙබදු පිළිවෙත්වලට බෞද්ධයෝ විද්‍යාත්මක සංකල්ප ද සාධක කර දක්වති. පිරිත් සජ්ඣායනය යනු විශ්ව සත්‍යය මුසු වූ වාග් ශක්ති ධාරාවකි. එමගින් ග්‍රහ තාරකාවලින් නිකුත් වන අයහපත් කිරන හා මිනිස් සිත් සතන් තුළින් පිටවන වස් දොස් හැඟීම් ගැබ්වූ චිත්ත තරංග අපගේ ශරීරයට ඇතුලු වීම අඩපණ කරයි. එනම් පිරිත් සජ්ඣායනය මගින් මතු වන වාග් ශක්ති ධාරාව මිනිසා වටා ඇති ශක්ති කිරණ වළල්ලට (ථචඨදඥබඪජ චභපච) එකතු වීමෙන්, අපට ආරක්‍ෂාව සපයනු බවයි.
මේ අනුව පිරිත් සජ්ඣායනයේ දී එම ස්ථානයට යාබදව තබා තිබෙන වතුර (පැන්) කළයටත් එම ශබ්ද තරංග අවශෝෂණය වීමක් සිදුවේ. මැටි කළයක් තුලට ඇතුළුවන ශබ්ද තරංග ආපසු පිට නොවේ. ඊට හේතුව මැටිවල තරංග ප්‍රස්ත්‍යථ බව පහළ අගයක් ගැනීමයි. මේ නිසා මැටි කළයට ඇතුළු වූ ශබ්ද තරංග සංඛ්‍යාතය වැඩි වීමත් සමඟ එහි ජලය උතුරා යයි. මේ අනුව ශබ්ද තරංග මගින් පිරිත්පැන් බලයක් ලබාගෙන යහපත සතුට සැපත උදාකරන බව, විද්‍යාත්මකව සනාථ වෙයි. එහෙත් විද්‍යාව ශබ්දයේ බලය බෞද්ධ නොවන සෙත්කවි යන්ත්‍ර මන්ත්‍ර වස් කවි යාදිනි ආදියට ද ඇති බව පිළිගනී. එමගින් ද මිනිස් සිරුර තුළ වෙනස් ප්‍රතික්‍රියා ඇති කරන බව ප්‍රකාශ කරයි. මේ අනුව මෙම විද්‍යාත්මක සොයා ගැනීම බෞද්ධ පිරිත්පැන් වලට කිසියම් බලයක් ඇති බව ප්‍රකාශ කරන අතරම අනෙකුත් ආගම් වල ශුද්ධවස්තුන්ට ද බලයක් ඇති බව පිළිගනී. මෙම විද්‍යාත්මක විග්‍රහය බුදුදහමට අනුව කෙතරම් යෝග්‍ය දැයි ප්‍රශ්න කළ හැකිය.
මෙබදු මතිමතාන්තර පැවතුණත් ජීවම් වූ පිරිත් පැන් වල කිසියම් ආශිර්වාදාත්මක බලයක්, ශක්තියක් ඇති බව සාම්ප්‍රදායික බෞද්ධයෝ පිළිගනිති. මේ නිසාම බෞද්ධ සමාජය තුළ පිරිත් සජ්ඣායනයත් පිරිත් පැනුත් චිරාත් කාලයක සිට නොනැසී පවතී.

සමාලෝචනය

බෞද්ධ ආරක්‍ෂක වස්තු අතර පිරිත් පැන් සුවිශේෂ තැනක් ගනියි. බෞද්ධ සම්ප්‍රදායේ පිරිත් පැන් බුද්ධ කාලීනව සිටම භාවිතා කරනු ලබන බවට සටහන් හමු වුවත් එම සටහන් පසුකාලීනව ලියැවුණු ඒවා බව, විචාරක මතයයි. මුල් බුදුසමය භෞතික වස්තූ®න්ට ශක්තිය ආරෝපණය සිදුනොකරන නිසා, මෙය පසු කාලීනව සම්ප්‍රදාය විසින් ගොඩනගාගත් චාරිත්‍රයක් ලෙස ඔවුහු හ¼ඳුනාගනිති. පිරිත් පැන් පිළිබඳ කෙබඳු මතවාද තිබුණත් බෞද්ධ සැදැහැතියෝ පිරිත් පැන් පූජ්‍ය වස්තුවක් ලෙස සලකති. එයින් ආරක්‍ෂාවත් රැකවරණයත් ප්‍රාර්ථනා කරති. බෞද්ධයාගේ ප්‍රමුඛ ජීවන කාර්යවලදී පිරිත් පැන් භාවිතා කිරීමෙන් මේ බව සනාථ වෙයි.
ශාස්ත්‍රවේදී යටලමත්තේ කුසලනන්ද හිමි


පිරිත් මණ්ඩපයක් නිවැරැදිව සකස් කරන්නේ කෙසේද?

ශාස්ත්‍රපති දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි

නිවසක පිරිත් දෙසුමක් පවත්වන්නට බොහෝ දෙනා උත්සාහ ගනිතත්, එය මහා බැරෑරුම් කාර්යයක්.ඇත්තටම එම පිරිත් පින්කම බැරෑරුම් වන්නේ පිරිත් දේශනාවක නියම වත් පිළිවෙත් මෙන්ම පිරිත් මණ්ඩපය පිළිබඳව බොහෝ දෙනාගේ නොදන්නාකම නිසයි.
වර්තමානයේ බොහෝ දෙනා පිරිත් පින්කමක් අධික වියදමක් දැරිය යුතු කාර්යයක් ලෙස සැලකුවද , පිරිතක් නිසි ලෙසින් ධර්මානුකූලව වත් පිළිවෙත් අනුව, පවත්වනවා නම් එය අසීරු වන්නේ හෝ අධික වියදම් දැරිය යුතු වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිත සම්බන්ධව දේශනා කෙළේ කෙසේද? “ද්වේමේ භික්ඛවෙ යාගා ආමිස යාගො ච ධම්මා යාගෝච” මහණෙනි යාග දෙකකි. එකක් ආමිස යාගයයි. අනෙක ධර්ම යාගයයි’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. එහිදී ධර්ම යාගය ලෙසින් නැත්නම් ධර්ම දානය ලෙසින් හඳුන්වා ඇත්තේ මේ පිරිත් පින්කමයි. පිරිත් පින්කම සඳහා යොදා ගන්නා පිරිත් මණ්ඩපය “ධර්ම යාග මණ්ඩපය සංඛ්‍යාත පිරිත් මණ්ඩපය” නමින් අතීතයේ හඳුන්වා තිබෙනවා. එය අද පිරිත් මණ්ඩපය බවට පත්වෙලා. පිරිත් මණ්ඩපය පිළිබඳ සංකල්පය අද ඊයේ ඇති වූවක් නොවේ. මෙය බුදුරජාණන් වහන්සේගේ නියමය පරිදි උපදෙස් පරිදි නිමවූවක්. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ එක්තරා බමුණන් පිරිසක් විසින් ළදරු කුමරකු සත් දවසකින් මිය යන බව ප්‍රකාශ කර තිබුණා. ඒ දෙමව්පියන්, දරුවාද රැගෙන බුදුරජාණන් වහන්සේ බැහැ දැක වැඳ නමස්කාර කළා.බුදුරජාණන් වහන්සේ විසින් දෙමව්පියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා. එහෙත් දරුවාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කෙළේ නැහැ. ඒ සම්බන්ධයෙන් දෙමව්පියන් බුදුපියාණන් වහන්සේගෙන් විමසූ විට මේ කුමරා සත් දවසකට වඩා දිවිගෙවෙන්නේ නැහැ. එම නිසා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කෙළේ නැහැ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා.

“බුදුරජාණන් වහන්ස ! ඉන් දරුවා වළකා ගැනීමට ක්‍රමයක් නැතිද?’ දෙමව්පියන් විමසා සිටියා. බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු ලෙසින් මෙසේ වදාළා සිටියා. ‘සවේ ත්වං අත්තනො ගේහද්වාරේ මණ්ඩපං කාරෙත්වා තස්ස මජ්ජෙ පීඨිතං කාරෙත්වා තං පරික්ඛිපත් තො අට්ඨං වා සෝළසං වා ආසනානි පඤ්ඤාපෙත්ව තෙසු මම සාවකෙ නිසිදා පෙත්වා. සත්තානං නිරත්තරංපරිත්තං කාතුං සක්කුණෙයියාසි”
තමාගේ ගේ තුළ මණ්ඩපයක් කරවා ඒ මැද පීඨිකාවක් කරවා. එහි මැද අට ක් හෝ දහසය ක් හෝ අසුන් පනවා ඒ ආසනයන්හි මගේ ශ්‍රාවකයන් වඩා හිඳුවා සත් දවසක් අඛණ්ඩව පිරිත් කරවන්නට හැකිනම් මෙසේ ඔහුගේ ජීවිත අන්තරාය නැතිවී යන්නේය. එසේ පිරිත් මණ්ඩපයක් කරවා පිරිත් සජ්ඣායනා කිරීමෙන් පසුව එම කුමරා “ දීර්ඝායු ලැබුවා එම නිසා එම කුමර ‘දීඝායු’ නමින් ප්‍රසිද්ධ වුණා. මෙයින් අපට පෙනී යන්නේ පිරිත් මණ්ඩපයක් තනා ගැනීම බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ බවයි. අටුවාවේ දැක්වෙන්නේද බුදුරජාණන් වහන්සේ ලබා දුන් උපදෙස් අනුව පිරිත් මණ්ඩපයක් තැනීම කළ යුතු බවයි. බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවලදී පාචීන දිසාව හෙවත් පෙර දිග බලාගෙන වැඩ සිටියා. විශේෂයෙන් බෝ මැඩ වැඩ සිටි අවස්ථාවේ දී පෙරදිග දෙස උන්වහන්සේ නෙත් යොමු කළා. ‘අන්තරේන යමකපාලානං උත්තර සිසකං මංචකං පඤ්ඤාපේසි ‘
යමක සාලයන් අතර උතුරට හිසලා පරිනිර්වාණ මංචකය පැනවීය. එහි සැතපී නිවන් පුරයට පත්වුණු බවක්ද කියැවේ. මෙසේ බුදුහිමියන් ගේ නියමය අනුව මණ්ඩපයක උතුරට හා නැඟෙනහිරට දොරටු පැනවීමක් සිදු කළ යුතුවෙනවා. පළමු ධර්ම සංඝායනාවේදී මේ බව පැහැදිලිව දැක්වෙනවා. ‘තස්මිං මහා මණ්ඩපයේ පංච ස්ථානං භික්ඛූනං අනග්ගානි පච්චත්තරනං සථානි පඤ්ඤා පෙත්වා
‘දක්ඛිණ භාගං නිස්සාය උත්තරාභිමුඛං ථෙරසානං පඤ්ඤාපෙත්වා මණ්ඩප මජ්ඣෙ පුරත්ථාභිමුඛං බුද්ධස්ස භගවතො ආසානරහං ධම්මාසනං පඤ්ඤාපෙත්වා’
අජාසත් මහ රජු කරවූ මණ්ඩපයෙහි ආසන පන්සියක් පනවා දකුණු භාගය ඇසුරු කොට උතුරට අභිමුඛව ථෙරාසනයද නැගෙනහිරට අභිමුඛව භාග්‍යවත් බුදුරදුන්ට සුදුසු ධර්මාසනයක් ද පනවා තිබුණි. විජිනි පතක්ද ‘තබා ස්වාමීනි මාගේ කටයුතු නිම කරනු ලදැ’ අජාසත් රජු විසින් පැවසූ බව කියැවේ. නැඟෙනහිරට හා උතුරට මුහුණ ලා ආසන පැනවූ බව මෙයින් පෙනී යනවා. වර්තමානයේදී අප පිරිත් මණ්ඩපයක් තැනීමේදී මේ කරුණු දැන නිසි පරිදි මණ්ඩපයක් තැනීම වැදගත් වනවා. ඒ අනුව පිරිත් මණ්ඩපයෙහි ප්‍රධාන දොරටුව උතුරට හෝ නැඟෙනහිරට තැබිය යුතුයි. යුගාසනයක් තැබිය යුතුයි. පිරිත පිරීම සඳහා වැඩ සිටිනා හිමිවරුන්ට යුගාසන පැනවිය යුතු වෙනවා. රාජගහ හෙවත් ඉන්ද්‍රඛීලයද එම යුගාසන අසුන් හා එකතු වන සේ බැඳ තබනවා. ‘යුගාසනයට එළිපත ඇතුළෙහි රියන් 8 ක් හේ 10 ක් හෝ පොළව සාරා රාජගහ සිටුවිය යුතුයි “යනුවෙන් මෙය ධර්මයේ දැක්වෙනවා.
රාජගහ හෙවත් ඉන්ද්‍රඛීලය සතර දිගින් හමනා සුළඟ නොසෙලවන ලෙසින් සවි කළ යුතු බවයි මෙයින් කියැවෙන්නේ. මීට පැළවෙන අමු ලී වර්ගයක් ගන්නේ ශබ්ද ආකර්ෂණයටයි විශේෂයෙන්ම සූරිය වගේ දැව ඒ සඳහා යොදා ගන්නවා. එවැනි දැව ලී මගින්ම දළු ලන නිසයි. එමෙන්ම ඒ සඳහා ගෙමිදුලෙහි වවාගෙන ඇති දැව ලී ගැනීම වැදගත් බවත් ධර්මයේ කියැවෙනවා. විශේෂයෙන් ‘සාරදාර යුක්ත’ නැත්නම් රෝග බීජ නසන්න එවන් දැව වලට පුළුවන් බව මෙයින් කියවෙනවා. ඒ දැව ලීය පිරිසුදු වස්ත්‍රයකින් බැඳල තමයි ගන්නේ. බුද්ධත්වය සංකේත කිරීම මේ රාජ ගහෙන් සිදුවන බව විශේෂයෙන්ම අප දැනගත යුතු වෙනවා. පිරිත් හූය ඇදීමටත් මේ රාජ ගහ යොදා ගන්නා බව අප වටහා ගත යුතු වෙනවා. රාජ ගහට මෙතරම් අප සැලකිල්ලක් දක්වන්නේ එම නිසයි. පිරිත් මණ්ඩපය තුළ බුලත් නාගවල්ලි, නාදලු මෙන්ම පුෂ්ප වශයෙන් පුවක් මල් ද යොදා ගන්නවා. අතීත කාලයේ සිටම වියන් බැඳ මල් වලින් සරසා මේ කාර්යයන් කළ බව අප දන්නවා. මෙහිදී විශේෂයෙන් සතියක්වත් පර නොවී තිබෙන පත්‍ර පුෂ්ප යොදා ගන්නා බව අප තේරුම් ගත යුතුවෙනවා. පිරිත් පින්කම දීර්ඝ කාලයක් පැවැත්වෙන හෙයින් එවන් පත්‍ර පුෂ්ප පොදා ගන්නවා.
බුලත් නා දලු ලෙහෙසියෙන් මැලවෙන්නේ නැහැ. වෛද්‍ය ශාස්ත්‍රය පවා බුලත් විෂ නැසීමට ගන්නා බව දැක්වෙනවා. පුවක් මල් හා නාදලු සන්ධී හන්දි කැඩුනොත් පෑස්සීමට හැකි ඖෂධ බව දැක්වෙනවා. විළඳ අබ, සුනු සහල්, පිච්ච මල් කුප්පි, ඊතණ යන ලද පස් මල් මේ සඳහා උපයෝගී කර ගන්නවා. අතීතයේ පටන් ලද පස්මල් ද මෙවන් පින්කම් සඳහා භාවිතා කර තිබෙනවා. ලද පස් මල් ආදිය මණ්ඩපයේ උඩ බිම හාත්පසින් එල්ලීම හා ඉසීම සිද්ධ කෙරෙනවා. එසේ කරන්නේ තුනුරුවන්ට කරනු ලබන පූජාවක් ලෙසය.
පිරිත් මණ්ඩපය හා සම්බන්ධව අප භාවිතා කරනු ලබන පුන්කළස් ද අතීතයේ සිටම විශේෂිත පින්කම් මංගල අවස්ථාවන් සඳහා යොදවා ගත් බව පැවසෙනවා.
“තොරණධජ පුබ්බෙහි ගන්ධ පුණ්ණ ගඨේභිච විහාරංච සමංථාව මණ්ඩිතං යෝජනත්ථං අට්ඨුත්තර සහස්සංච ඨපාපේසි නවේ ඝඨේ යන්නෙන් පුන් කළස් හෙවත් පූර්ණ ඝට අතීතයේ පටන්ම මංගල සම්මත කාර්යයන්හිදී භාවිතා කළ බව පෙනෙනවා. පිරිත් මණ්ඩපයේ දොරටු හතරක පුන්කළස් 8 ක් තබන්නේ එහි ගෞරවය ගාම්භීරත්වය වැදගත්කම ඉස්මතු කර පෙන්වීමටයි.
මේ සියල්ලම කෙරෙන්නේ මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනයෙන් පසු ලබා දෙන පිරිතේ අනුහසින් පිරිත් නූල් සහ පිරිත් පැන් ලබා දෙන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගැනීමටයි. පිරිත් පැන් ඉසීම පිරිත් නූල් බැඳීම අතීතයේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේ සිටම පැවතෙන චාරිත්‍රයක්.
‘උපද්දවානං පටිඝා තත්ථාය බුද්ධ මිදං රතන සූත්තං උග්ගහෙත්වා ආයස්මා ආනන්දො පරිත්ථත්ථාය භාසමානො භගවතො පත්ථෙන උදකං ආදාය සබ්බ නගරං අප්පුක්ඛිත් රත්තො අනුවිචරි රතන සූත්‍රය උගත් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ පිරිත් කියමින් බුදු හිමියන්ගේ පාත්‍රයන් පැන් ගෙන සියලු නුවර පිරිත් කියමින් හැසුරුණු බව මෙයින් පැවසෙනවා. එමෙන්ම බුද්ධ දේශනාවේ වැදගත් තවත් කරුණක් කෙරෙහි අප අවධානය යොමු කළ යුතු වෙනවා. ‘මනුස්සා උදඛංච සුත්තංච ගහෙත්වා නිසීදත්වා පරිත්තං පණථාති වදන්තිකා තබ්බං “
මිනිස්සු පැන් හා නූල් ගෙන පිරිත් කළ මැනවැයි ඉල්ලා සිටි විට පිරිත් කළ යුතු යැයි මහා සංඝරත්නයට විනය නීතියක් තිබෙනවා. එම නිසා පිරිත් පැන් හා පිරිත් නූල් සංකල්ප නිකම්ම හදා ගත් ඒවා නෙමෙයි. පිරිත් හූය යනුවෙන් හඳුන්වන ප්‍රධාන පිරිත් නූලක් භාවිතා කරනවා. පිරිත් හූය රැගෙන එන්නේ විහාරස්ථානයෙන්. පිරිත් හූය රාජ ගහ හා සම්බන්ධ කරනු ලබන නිසා රාජ ගහ ඉතා පවිත්‍ර එමෙන්ම ඒ සඳහා සුදුසු වූවක් විය යුතුයි.
පිරිත් මණ්ඩපයක අසුන් පැනවිය යුත්තේ කෙසේද?
‘පිරිවහන පොතින් පිරිවැහීමට යුගාසනයක්ද? ඒ යුගාසනයට සම්බන්ධ කර රාජගහ සවි කෙරෙනවා. ඝන සජ්ඣායනාවට ආසන පනවා පිරිතේදී පිරිවාණා පොත් වහන්සේ වැඩම කරනවා. සංඝරත්නය වැඩම කරනවා. අනිවාර්යයෙන්ම අතීතයේ පටන් අපි දොරටු 4 ක් පාවිච්චි කරල තියෙනවා. ඒ සතරවරම් දෙවියන් නිමිති කරගෙනයි. ප්‍රධාන දොරටුව උතුරු හෝ නැගෙනහිරට හෝ තැබිය යුතුයි. මණ්ඩපයකට පුළුවන් හැම විටම දොරටු 4 ක් තිබිය යුතුයි. මණ්ඩපයේ අටපට්ටම හැඩය නිවැරැදිව මතු වන්නේ එවිටයි. මෙයත් පරණ චාරිත්‍රයක් . නමුත් අද අපි මේ චාරිත්‍රය නිසි පරිදි ඉටු කරනවාද? ඇතැම් අවස්ථාවල කාමරෙක මුල්ලක් භාවිතා කර බාහිරින් කෑලි දෙකක් එක්කර මණ්ඩපය තනනවා. එක දොරටුවක් කොතනකින් හෝ තබනවා. දැන් කොහොමද බිත්තියට පුන්කළස් තියන්නේ. පුන්කළස් 8 ක් භාවිතා කරන්න පුළුවන්ද? කුඩා කාමරයක ආසන පනවා එය මණ්ඩපය යැයි කියනවා. මණ්ඩපයක් යන්නෙහි නියම අර්ථය දැනගෙනයි කටයුතු කළ යුත්තේ. රාජගහට සූරිය වැනි ලී දඬුම පැළවෙන පිරිසුදු ලීයක් සොයා ගැනීමට නොහැකිවූ විට කාලානුරූපව පුවක් වැනි සතියක් දෙකක් වැනි කල් තබා ගත හැකිදේ භාවිතා කරනවා. එවැනි දේ ගැටලුවක් නැහැ. නමුත් අවබෝධයයි වැදගත් වන්නේ.

සටහන
තාරක වික්‍රමසේකර